(එෆ්.අස්ලම්)
දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
දෙමළ ජනතාව මුහුණ පා සිටින මූලික ගැටළු විසදීම වෙනුවෙන් ජනාධිපතිවරයා අවධානය යොමුකළ යුතු බවත් එම ජනතාව ආර්ථික හා සමාජීය වශයෙන් මුහුණ පා සිටින ගැටළු ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීම දෙමළ ජනතාවගේ නියෝජිතයින්ගේ වගකීම බවත් විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳ ලංකාදීපය වෙත (18) වැනිදා අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ බව කියා සිටියේය.
‘‘ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රථමයෙන් සුබපැතුම් එක්කරනවා.මේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ නියෝජිතයින් වශයෙන් අපි දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ පහක් සාකච්ඡා කරල මේ ජනතාවගේ හඳුනාගත් ගත් ප්‍රශ්න 13 ක් ඉදිරිපත් කරල තියෙනවා.
ඒ පක්ෂ පහම මේ ඉල්ලීම් වලට විසඳුම් දෙන බව පොරොන්දු වන අපේක්ෂකයාට සහාය දැක්විය යුතුයි කියන පොදු ස්ථාවරයකට පැමිණියා.
ඒ ඉල්ලීම් 13 අපි ඉංග්‍රීසි පරිවර්ථනයක් ලෙසින් ප්‍රධාන අපේක්ෂකයින් දෙපළටම ඉදිරිපත් කළත් කිසිඳු අපේක්ෂකයෙකු එම ඉල්ලීම් පිළිගැනීමට සූදානම් වුනෙත් නැහැ එකඟත්වයක් පලකර සිටියෙත් නැහැ.
මේ නිසා තමයි අපේක්ෂකයෙකු නම් කර ඔහුට හෝ ඡන්දය දෙන්නැයි නොකියා දෙමළ ජනතාව තමන්ට හොදයි කියල හිතෙන අපේක්ෂකයෙකුට සහාය දිය යුතුයි කියන ස්ථාවරයකට පැමිණියේ.
එසේ සිටියෙදී දෙමළ ජාතික සන්ධානය ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ වුවමනාව මත සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව ප්‍රකාශ කළා.දෙමළ ජනතාවගේ මේ ඉල්ලීම් ඉටුකරන බව සජිත් පොරොන්දු වී ඇතැයි හැගෙන ආකාරයෙන් එම සහාය දැක්වීම සිදුවුණා.
මෙය දකුණේ සිංහල ජනතාවගේ දැඩි සැකයකට තුඩුදුන් නිසා සජිත් ප්‍රේමදාසට දකුණෙන් හිමිවීමට තිබූ ඡන්ද පවා අහිමි වී ගියා.මෙය රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට දෙමළ ජාතික සන්ධානය විසින් ගත් වැරදි පූර්වාදර්ශයක්.
සජිත් ප්‍රේමදාස අභිබවා යමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ බහුතර ජනවරමකින් රටේ ජනාධිපති ධූරයට පත්ව තිබෙනවා.
ජනාධිපතිවරයා සියළු රටවැසියාගේ ආරක්ෂකයා නියෝජිතයා වශයෙන් ජනතාවගේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ගෙන ඒමට මූලිකත්වය ගතයුතුයි.
දෙමළ ජනතාවගේ සැබෑ තත්ත්වය ආර්ථික අපහසුතා ආදී තත්වයන් ගැන ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා‘‘ යැයිද විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.

