‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අවභාවිත කරලා’


(බිඟුන් මේනක ගමගේ) 
 
ලේඛක ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි පළ කරන ලද කෙටි කතාවකින් බුදු දහමට අපහාස වී යැයි චෝදනා නගමින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය භාවිත කර ඇතැයි ද එය අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධාවක් යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
රජය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කිරීමෙන් ජගත් ප්‍රජාවට පොරොන්දු දුන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වඩාත් පුළුල් කිරීමට වුවත් එය මේ අවස්ථාවේදී පාවිච්චි කර ඇත්තේ නොපිටට යැයි ද එහි සඳහන් වේ.
 
කලා හා සාහිත්‍ය කෘති හා නිදහස් මතධාරීන් සම්බන්ධයෙන් රජය කලක් තිස්සේම නිසි අධ්‍යයනයකින් තොරව ක්‍රියා කරමින් සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි.
 
කලා කෘතියක අන්තර්ගතය එක් දෘෂ්ටිකෝණයකින් පමණක් විනිශ්චය කළ නොහැකි යැයි ද මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය නතර කරන්නැයි රජයට බල කරන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.