‘සංවර්ධන මුදල් නොලැබීමෙන් මොරගහකන්දේ සේවකයන් 2000ක් ඉවත්කරලා’


(ඉන්දික අරුණ කුමාර)
 
මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සංවර්ධන මුදල් නොලැබීම හේතුවෙන් මේ වන විට එහි කම්කරුවන්, වැඩ පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය අද(19) සඳහන් කළාය.
 
පසුගිය යහපාලන රජය යටතේ මොරගහකන්ද ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දී තිබු බව ඇය කියා සිටියාය. මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා නාඋල දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කවිරත්න මහත්මිය මේ බව කියාසිටියාය.
 
වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.
 
“ගිය අවුරුද්දේ මොරගහකන්ද ව්‍යාපෘතියේ සේවකයන් කළ සේවය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක් ගෙවන්න ඉතිරිව තිබෙනවා. නමුත් මේ වෙනකොට ඒ සඳහා සතයක මුදලක් හෝ රජයෙන් ලැබිලා නැහැ. ඒනිසා ව්‍යාපෘතියේ බලධාරීන් මේ වෙනකොට දැඩි අපහසුතාවට පත්වෙලා. ඔවුන්ට දැන් ඉතිරිවෙලා තියෙන්නේ සංවර්ධන වැඩ නවත්තන්නයි. මොරගහකන්දේ දකුණු ඉවුරේ සහ වම් ඉවුරේ ජනතාවට ජීවත්වීම සඳහා ලබාදෙන වියලි සලාකය හා පානීය ජලය පමණක් ලබාදීමටයි සිද්ධවෙලා තියෙන්නේ.
 
අපි බලාපොරොත්තු වුණා මේ දෙසැම්බර් මාසේ වෙනකොටවත් ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙයි කියලා. එහෙම වුණා නම් සලාකය අයින් කරලා පදිංචිකරුවන්ට කුඹුරක වැඩපල කරගන්න අවස්ථාව තිබුණා. අද වියලි සලාකයට පමණක් වසරකට වැය වෙනවා රුපියල් මිලියන 350 ක්.  ඒක රජයට දැවැන්ත බරක්.
 
ලග්ගල ජනතාව කියන්නේ තනියෙන් හම්බකරගත්ත ජනතාවක්. අද ඒ අය ආණ්ඩුවෙන් දෙන හාල් ටිකයි කුණුවෙච්ච හාල්මැස්සෝ ටිකයි ගන්න මාසයක් බලා ඉන්න තත්ත්වයක් ඇති වෙලා. මේ වෙනකොට ජනවාරි මාසේ වියලි සලාකය ඔවුන්ට ලැබිලත් නැහැ. මොරගහකන්දේ ඇතැම් තැන්වල සංවර්ධන වැඩ අවසන් වෙලා. ඒ සඳහා චීන සමාගමට ගෙවියයුතු මුදල් නොගෙවීම තුළ ඔවුන්ට රජයෙන් පොලියක් ගෙවන්න ඕනේ. ඒ මුදල් ගෙවන්න ඕනේ මේ රටේ දුප්පත් ජනතාව.
 
ඇත්තටම මේ මොරගහකන්ද වාරි ව්‍යාපාතිය කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ඇතුළෙදීත් ප්‍රතික්ෂේප වෙච්ච ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය රටට ලොකු බරක් වෙලා තියෙනවා. එමට නම් පේන්නේ නැහැ මේ ව්‍යාපෘතිය මේ රටට අවශ්‍ය ව්‍යාපෘතියක් කියලා.

මේ මොරගහකන්දෙන් ලග්ගල මිනිස්සුන්ට ලැබිච්ච දෙයක් නැහැ. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කිව්ව විදිහට එතුමාගේ හීනේ සැබෑ වුණා පොළොන්නරුවට වතුර ටික ගෙනයන වැඩ පිළිවෙළේදී. මේකට හේතුව රටේ සල්ලි නැතිකමයි. මේ වෙනකොට රටට විදෙස් ආධාර ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි බදු අඩුකිරීම හේතුවෙනුත් රටේ ආදායම් යම් යම් විදිහට අඩුවෙලා තියෙනවා.
 
බදු අඩුකිරීම හොඳ කාරණයක්. නමුත් ආදායම් උත්පාදනය සම්බන්ධයෙන් නව රජයේ වැඩපිළිවෙළක් නොමැතිකමින් අද දැඩි ආර්ථික අර්බුදයකට මේ රට මුහුණදෙමින් ඉන්නවා. අපි දන්න තරමින්නම් ලේක්හවුස් එක ආසන්නයෙත් අක්කර හයක මුදලක් අමාරුවෙන් විකුණලා කියලා තමයි ආරංචිය තියෙන්නේ. අපේ රටේ ජනතාවගේ හීන විකුණලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ.
 
යහපාලන රජය ගෙනාපු බොහෝ හොඳ දේවල් අතර කොමිෂන් සභා, තොරතුරු දැනගැනීමේ පනත, ගම්පෙරළිය හා පෝෂණ මල්ල ලබාදීම වැනි දේවල් සිදුවුණා. ජනතාවට බඩු මිල අඩුවෙන් තිබුණා. අද හැටනව ලක්ෂයක් ජනතාව කතා කරගන්න බැරිව ඉන්නවා වෙච්ච දේ සම්බන්ධයෙන්. මහජනතාවගේ හීන බොදවෙලා තියෙනවා. නමුත් සහෝදරයෝ ටික රටේ ආයතනවලින් 70%ක් බෙදාගෙන තියෙනවා” යැයිද කියා සිටියාය.