‘විධායකය දුර්වල කිරීමේ ප්‍රතිඵල පේන්නේ දැනුයි’


 

(ඩයනා උදයංගනී)

 

ශ්‍රී ලංකාවට ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් අවශ්‍ය බව පසුගියදා ඇතිවූ සිද්ධීන්ගෙන් පසු යළිත් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිධූරය බාල්දුවීමේ ප‍්‍රතිළුලය ලෙස වරදක් කරන නිලධාරියකු හෝ ධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිගින් දිගටම විධායක ජනාධිපතිධූරය වෙනස් නොකළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටියේ ඒ නිසා බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශක්තිමත් ජනාධිපතිවරයෙක් සිටියේ නම් හමුදාපතිවරයෙක් හෝ පොලිස්පතිවරයා නොසැළකිලිමත්ව කටයුතු කරන අවස්ථාවක ඉවත් කරදැමීමේ හැකියාව තිබෙන බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව එවැනි අය ධූරයෙන් ඉවත් කිරීම සඳහා කොමිෂන් සභා හා පාර්ලිමේන්තුව හරහා ගොස් වන්දනා කර එනවිට නඬේ ගිහින් අවසන් වන බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

දැන් එවැනි තනතුරු දරණ අය කුමන ආකාරයක වරදක් කළත් මේ ධූරවලට පත්වන අය ඉවත් කිරීමේ ඉක්මන් ක‍්‍රමයක් නැතැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

අවශ්‍ය අවස්ථාවලදී හෝ පියවර ගතහැකි පසුබිමක් ඇතිකිරීමකින් තොරව රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි 19 වැනි සංශෝධනය ගෙනඒම නිසා මෙවන් තත්ත්වයක් ඇති වූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.