‘මෝදි සමඟ සාකච්ඡාවට අගමැතිගේ වෙලාවත් විපක්ෂයට’


(අංජුල මහික වීරරත්න)
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ ගත කළ මුළු කාලය පැය 4 කට සීමා වූ හෙයින් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් කර තිබූ කාලය විපක්ෂයට දීමට පියවර ගත් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කිරීමට කාලය ඉතිරි වූ බවද සභානායක කිරිඇල්ල මහතා කීවේය.
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු සාකච්ඡා පැවැත්වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමේදී සහ නැවත ගුවන්තොටුපාල දක්වා ගමන් කරන කාලයේදී බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
 
සීමිත කාලයකට මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන විශේෂ අවස්ථා සියල්ලටම එක් වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සංචාරය ස්ථිර වූ දිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට දැනුම් දුන් බවද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
 
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී රජය නියෝජනය කරමින් පරිවාර ඇමතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා නම් කර තිබූ අතර අවසන් අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලදි.