‘බහුකාර්ය සහයක’ සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීලා


(යොහාන් භාසුර)

බහුකාර්ය සහයක පත්වීමක් ලබා විවිධ රාජ්‍ය ආයතනවල කම්කරු රාජකාරිවල නිරතව සිටි සේවිකාවකට බස්නාහිර පළාත් සභාව පානදුර මහජන පුස්තකාලයේ ‘පුස්තකාල සහයක’ පත්වීමක් දී ඇතැයි පානදුර නගර සභා සේවකයෝ චෝදනා කරති.

පානදුර නගර සභාව යටතේ පාලනය වන පානදුර මහජන පුස්තකාලයේ කම්කරු පත්වීම් ලබා වසර ගණනාවක් සේවය කරන සේවකයන් සිටියදී එවැනි පත්වීමකට මූලික සුදුසුකම් හෝ නොමැතිව තැනැත්තියක් ‘පුස්තකාල සහයක’ තනතුරට පත්කිරීම නීති විරෝධී බවත් සේවකයන් ලෙස අදාල පත්වීමට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් එම නගර සභා සේවකයෝ කියති.

මෙම පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පුස්තකාල සංගමය දැනුවත් කිරීමට ද මේ වන විටත් පියවර ගෙන ඇති බවත් එවැනි පත්වීම් නොකරන ලෙස එම සංගමය මේ වන විටත් ලිඛිතව දැනුම්දී ඇතැයි පවසූ බවත් එම සේවකයෝ සඳහන් කරති.  

වර්තමාන ආණ්ඩුවේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සහයක පත්වීමක් ලබා පානදුර පොලිසිය සහ පානදුර නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන කීපයක සේයක කරමින් සිටි අදාල සේවිකාවට ‘පුස්තකාල සහයක’ පත්වීමක් දීමට පළාත් සභාවට කිසිඳු බලයක් නොමැති බවත් නගර සභා සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ‘පුස්තකාල සහයක’ යනු කම්කරු පත්වීමක් බවත් පළාත් සභාවට බහුකාර්ය සහයක පත්වීම් ලැබූවෙක් ‘පුස්තකාල සහයක’ ලෙස පත්කළ හැකි යැයි වගකීමෙන් කියන බවත්ය.