‘පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීමේ බලය මට තියනවා’


(නාලක සංජීව දහනායක)

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ බලය ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තමන්ට පවරා ඇතැයි  විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (10) පැවසීය.

විනයගරුක රටක් බිහිකරමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කළ හැකි, සියලූම ජාතීන්ට ආරක්‍ෂාව සැපයිය හැකි නායකයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ද ඔහු කීය.

එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.

ජනාධිපතිවරණය අතලග තිබෙන අවස්ථාවකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමුකිරීම පිටුපස යටි අරමුණක් ඇතැයි තමන් සැක සිතන බව කී විපක්‍ෂනායකවරයා  ආණ්ඩුවේ යටි අරමුණු පරාජය කරමින් පවත්වන  ඕනෑම මැතිවරණයකින් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙන බවද ඔහු කීය.

එමෙන්ම පටු දේශපාලන අරමුණු මුල් කරගනිමින් ආණ්ඩුව විසින් සිදුකරනු ලබන කටයුතු නිසාවෙන් ජනතාව පීඩාවට පත්වන බව කී විපක්‍ෂනායකවරයා ජාතික හා ආගමික වශයෙන් මිනිසුන් බෙදා වෙන්කිරීමට ආණ්ඩුව සිතා මතාම ක‍්‍රියාකරන බවද පැවැසීය.

බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (10) පැවැති රැස්වීමකට සහභාගී වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.