‘ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදය හෙට-අනිද්දා‘



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට(9)  සහ අනිද්දා  (10) පැවැත්වේ.

මෙම විවාදය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයක් අනුවය.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වර්ජනය කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විවාදයටද සහභාගි නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුව උදේ  9.30 ට රැස්වන අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී  යථාපරිදි ඉදිරිපත්කර තිබූ යෝජනා 51 ක් අනුමතිය සදහා  ඉදිරිපත් කිරීමද පෙරවරුවේ සිදු කෙරේ.

අනතුරුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.00 දක්වා පැවැත්වෙනු ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය අනිද්දා (10 ) සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා දෙවැනි දිනයටත් පැවැත්වේ.