(ජේ.කේ.එල්.චාමින්ද)
දුෂණය නැති තැනක් ලංකාවේ කිසිම තැනක නොමැති බවත්, මෙරට පොඩිම පුද්ගලයාගේ සිට ලොකුම පුද්ගලයා දක්වා සියලුම දෙනා නීතිරීති උල්ලංඝණය කිරීමට පුරුදු වී තිබෙන බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (09) අක්මීමණදී පැවසූහ.
අක්මීමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාම විහාරස්ථ සිරිපවරකිත්ති දහම්පාසලේ 45 වැනි සංවත්සරය හා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවයට එක්වෙමින් හිමිපාණෝ මේ බව පැවසූහ.
‘‘නිදහසින් පසු ලංකාවේ පොළව ලේ වලින් පිරිච්ච පොළවක් බවට හැරිලා තියෙනවා. මෙයට හේතුව තමයි දේශපාලන ලෝකය තුළ විනය නැතිවීමේ ප්‍රශ්නය. දේශපාලනය කරන අය මේකට වගකියන්න ඕනෑ. අපේ දහම්පාසල් දරුවන්ට විනය ගැන කථා කරලා වැඩක් නැහැ. පාසල් දරුවන්ට විනය ගැන කතාකරලා වැඩක් නැහැ.
අපේ වැඩිමල් අය අතරත් විනය තියෙන්නට ඕනෑ. මේ ලංකාවේ විනයක් නැහැ. පොඩිම කෙනාගේ සිට ලොකුම කෙනා දක්වා සියලුම නීතිරීති උල්ලංඝනය කරන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දුෂණය නැති තැනක් ලංකාවේ කොහෙවත් නැහැ. කොහේ හරිතැනක වැඩක් කරන්න ගියවිට හැමතිස්සේම කතාකරන වචනයක් තියෙනවා. පාරක් හදන්න යනවා කියමුකෝ...! එයට ටෙන්ටර් කැඳවන්න ඕක මොකක්ද දන්නවාද? ඒ ප්‍රසිද්ධ වචනය කොමිස්... කොමිස් ගැහිල්ල කියලා තමයි කියන්නේ... ‘‘ යැයි හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.



