‘දැන් පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අපි පිළිගන්නේ නෑ’


චන්ද්‍රසේන ගමගේ
 
දැන් පාර්ලිමේන්තුව තුළ සිදුවෙන විවාද පාර්ලිමේන්තුවේ විවාද විදියට අප සළකන්නේ නෑ. ඒවා සාමාන්‍ය සාකච්ඡා පමණයි. පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමේදී හා පනත් සම්මත කිරීමේදී  ක්‍රමවේදයක් තිබෙනවා. ස්ථාවර නියෝග වලට පිටින් යමින් දැන් සිදුවෙන විවාද හා යම් යම් පනත් සම්මත කිරීම නීතියට පටහැනිව සිදු වෙනවා. එම නිසා ඒ කිසිවක් අප පිළිගන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


අඟුණකොලපැලැස්ස ගෝඨාභයගම ප්‍රදේශයේ ගොවීන්ට කෘෂිකාර්මික වගාවන් සඳහා බද්ධ පැල ලබාදීමේ උත්සවයකට සහභාගී වීමෙන් පසුව ඇමැතිවරයා අද (30) මෙසේ පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා රටේ අනාගතය තීන්දු තිරීම පිළිබඳව  ජනාධිපතිතුමාට මෙන්ම අපි හැමෝටම වගකීමක් තිබෙනවා. රට අරාජික වෙන තත්වයකට පත් කිරීමට ජනාධිපති  කටයුතු කරන්නේ නැති බවට අපිට දැඩි විශ්වාසයක් පවතිනවා. පවතින දේශපාලන අර්බුදය තව දින කිහිපයක් ඇතුළත විසදීම සදහා ජනාධිපති මෙන්ම අගමැති පියවර ගනු ඇති බවට අප තුළ අපේක්ෂාවක් පවතිනවා. 


නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධව ආණ්ඩුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පවතින දේශපාලන අර්බුදයෙන් දේශපාලන වාසි ගැනීමට මෙම ඝාතනයන් උපයෝගී කරගන්නට කවුරුන් හෝ උත්සාහ කළා ද යන්නත් ආණ්ඩුව සොයා බලමින් යනවා. කෙසේ නමුත් නැවතත් රට තුළ යුදමය තත්වයක් ඇති කරන්න කාටවත් ඉඩ නොතබන බවද සඳහන් කරන්න කැමතියි.