‘ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන අයට නීති පියවර ගන්න රජයට බැහැ’


(දසුන් රාජපක්ෂ) 
 

නව මිල සංශෝධනය යටතේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජයට නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද(06) පැවසීය.

මෙම මිල සංශෝධනය සම්බන්ධයෙන්  ජනතාව දැනුම්වත් කිරීම සඳහා බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ලලිත් ධර්මසේකර මහතා මෙම අදහස් කියා සිටියේය. 

එලෙස නීතිමය පියවර ගැනීමට නොහැකි වී ඇත්තේ ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් අති බහුතරයක් නීතිමය රාමුව යටතේ පවතින ලියාපදිංචි කළ ත්‍රි රෝද රථ සංගම්වල සාමාජිකත්වය ලබාගෙන නොමැති නිසා බව ලලිත් ධර්මසේකර මහතා අවධාරණය කළේය.

ත්‍රිරෝද රථවල ගමන් කරන මගීන්ගේ සහ එම රථ පදවන රියදුරන්ගේ අයිතීන් ආරක්ෂා කර යහපත් සේවාවක් බවට එම කර්මාන්තය පත් කිරීමට නම් එය නියාමනය කරන නිශ්චිත රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කළ යුතු බවද ඒ මහතා පැවසීය. 

මෙතෙක් ත්‍රිරෝද රථයක පළමු කිලෝමීටරය සඳහා රුපියල් 60ක මුදලක් අය කළ අතර නව සංශෝධනය යටතේ රු.50 දක්වා අඩු කළ යුතු බවද, දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රු.45 ක මුදල රු. 40 දක්වා අඩු විය යුතු බවද රජය නිවේදනය කර තිබේ.