(අංජුල මහික වීරරත්න)
ඊළඟ වසර දෙක ඇතුළත ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) යාපනයේ දී පැවසීය.
තමාගේ මෙන්ම තමා නියෝජනය කරන පක්ෂයේද අරමුණ වන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම බව කී අග්‍රාමාත්‍යවරයා දැන් ඒ දේශපාලන විසඳුමේ ආසන්නයටම පැමිණ තිබෙන බවද සඳහන් කළේය.
පළාත් පාලන මට්ටමින් බලය බෙදීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙන බවද සඳහන් කළේය.
යාපනයේ චුන්නාකම් ස්කන්දවරෝදය විදුහලේ 125 වන සංවත්සරය සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
"සියලු දෙනාම එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගය නරඹන්නට ඇති. එංගලන්තයේ බොහෝ මිනිසුන් පිරිසක් වෙනත් රටවලින් පැමිණ දැන් ස්වදේශිකයන් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු දහසක පමණ සිට ජාතීන් සුහදත්වයෙන් කටයුතු කළා. අප අපේ ජාතිය ගැන ආඩම්බර වන අතරම ශ්‍රී ලාංකික ජාතිය ගැන සිතා කටයුතු කළ යුතු යුගය එළැඹ තිබෙනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

