‘ජනපති සමඟ සාකච්ඡා ඕනෑ නෑ’


බිඟුන් මේනක ගමගේ

 

එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අතරමැද එකඟතාවයකට තවදුරටත් කිසිදු ඉඩක් නැතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ලංකාදීපයට කීය.

නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අවස්ථාවේ ආපහු හැරී බැලීමකට එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලීමක් කෙරුණ ද දැන් එවැනි දේශපාලන අවකාශයකට ඉඩක් නැතැයි දේශපාලන සාකච්ඡාවකට එක් වෙමින් රණවක මහතා අවධාරණය කළේය.

ඝාතන කුමන්ත්‍රණයකට මුවා වී අනුකම්පාව දිනාගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කළේ යැයි චෝදනා කළ හෙතෙම සැබැවින්ම ඔහු කළේ විරුද්ධවාදීන් හා එක්ව ඡන්ද ලක්ෂ හැට දෙකක් ඝාතනය කිරීමකැයි ද කීය.

රණවක මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

ජනාධිපතිවරයා අගමැතිකම දෙන අතරේ බඩ යටින් එක මාරාන්තික ප්‍රහාරයක් මහින්ද රාජපක්ෂ මහතාට දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ඇතුලු ඒ රාජපක්ෂ ජුන්ටාව පරාජය කිරීමට අවශ්‍ය කරන මහජන කෝපය, මහජන විරෝධය ඇතිකළා. මැතිවරණ ප්‍රතිපලවලින් පසුව විනයානුකූලව හැසිරිලා අප පෙන් වූ හරයාත්මක ලක්ෂණ අනෙක් පැත්ත ගහලා පාරවල් පුරා කටවුට් ගහලා රාජ්‍ය ආයතනවලට බලෙන් පැනලා වෘත්තිය සමිති ජුන්ටා පාවිච්චි කරලා මේ දින කීපයට රාජ්‍ය බලය අපහරණය උපරිමයෙන් පෙන්වලා තිබෙනවා. 

රනිල් හා රනිල් නොවන දෙයක් බවට මේක පත්කරගන්න ඒගොල්ලො හිතනව ඇති. නෑ. මේක රාජපක්ෂ ජුන්ටාවත් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අතර සටනක්. තවදුරටත් මෛත්‍රිපාල සිරිසේන කියන්නේ සාධකයක් නෙවෙයි. එනිසා අනිවාර්යෙන්ම සාතිශය බහුතරයක් ජනතාව රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරනවා.