‘චොකා මල්ලී පාර්ලිමේන්තු එනවාද නැද්ද නීතිපතිට තීරණය කරන්න බෑ’


(විනීතා එම් ගමගේ)         

ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි ද නැද්ද නීතිපතිවරයාට තීරණය කළ නොහැකි යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ඔහු පාර්ලිමේන්තුවට ගෙන්වනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ කථානායකවරයා සහ පාර්ලිමේන්තුව බවත් නීතිපතිවරයාට අධිකරණයේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට පමණක් හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.          

වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ ජල සම්පාදන අමාත්‍යංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.           

එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එය ඉදිරිපත් කළ මොහොතේ සිට වරදකරු වන තෙක් පෙර පැනවුණු දඬුවම අත්හිටවනු ලබන බවයි.          

අභියාචනාධිකරණයේ දී නඩුව විභාග වෙද්දී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නීතිපතිවරයාට අවස්ථාව ඇතැයි ද ඔහු කීය.            

දුමින්ද සිල්වා මහතා ද අභියාචනය ඉදිරිපත් කර එයින් වරදකරුවන තුරුත් පාර්ලිමේන්තු ආ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.