‘කිරි ඉතිරෙන රටක්‘පස් අවුරුදු සැලැස්ම එළි දකී


 (නිමල කොඩිතුවක්කු)

“කිරි ඉතිරෙන රටක්”පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම කෘෂිකර්ම සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද(14) එළිදැක්විණ.

දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30ක් දක්වා ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එහිදී පැවසිය.


කිරි ලීටර් 20 ඉක්මවා කිරි උත්පාදනය කරන ගොවිපලවල් 22,500ක්, කිරි ලීටර් 40 ඉක්මවූ ගොවිපලවල් 15,000ක්, කිරි ලීටර් 100 ඉක්මවා කිරි නිෂ්පාදන ගොවිපලවල් 1200ක් නිර්මාණය  කිරීමට සැලසුම් කරන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වෙනවිට කිරි නිශ්පාදනය ලීටර් ලක්ෂ 10ක ප්‍රමාණයක් බවත් එය සමස්ථ කිරි පරිභෝජනයෙන්  සියයට 35ක් 40ක ප්‍රමාණයක් බවත් ඔහු පැවසීය.

මෙරට තුළ පවතින පශු වෛද්‍ය කොට්ඨාස 337ක සහයෝගය ලබා ගනිමින් කිරි නිෂ්පාදකයන්ගේ අගය වර්ධන කේන්ද්‍රස්ථානයක් ජුලි මස 20වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කරන බවද කරුණාරත්න මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සංකල්පයක් අනුව “කිරි ඉතිරෙන රටක්”පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වේ.