(නිමන්ති රණසිංහ)
පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී රුපියල් කෝටි 70 ක් වටිනා දියමන්තියක් මංකොල්ල කෑමේ සිද්ධියට අදාළ දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික නොහොත් ‘කැවුමා’ නමැති ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ඇතුළු පාතාල ක්‍රියාකාරිකයන් සිව්දෙනකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කළ බව නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට කරුණු වාර්තා කර ඇත.
දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික නොහොත් ‘කැවුමා’ නැමැත්තාගේ සමීපතමයින් තිදෙනකු විසින් 2018 වර්ෂයේදී පොළොන්නරුව ප්‍රදේශයේ සිට අවස්ථා කිහිපයකදී ඉතා සුක්ෂම ලෙස සහල් අසුරන තුළ සඟවා නිති විරෝධී ගිනි අවි සහ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් ලොරි රථවලින් කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් කෙළඹ සහ දකුණු පළාතේ සංවිධානත්මක අපරාධ කල්ලි කිහිපයක් වෙත ලබාදෙනු ලැබීමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි ද නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම ගිනි අවි ඡාවාරම සහ රුපියල් කෝටි 70ක දියමන්ති මංකොල්ලය සම්බන්ධයෙන් දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික නොහොත් ‘කැවුමා’ සහ ඔහුගේ ගෝලයන් වන පනාගොඩගේ හේමාල් රංජන පෙරේරා, පිටිගලගොඩ ආරච්චිගේ කසුන් සදරුවන් සහ වෙන්ගම්පුලි ආරච්චිගේ දේව් නිශාන්ත වර්ණ කුමාර යන අය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත පබ්‍රකාරව විමර්ශනයක් සිදුකිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් තම කොට්ඨාසයට යොමු කළ බවද නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, මෙම තැනැත්තන් සිව් දෙනා සම්බන්ධයෙන් නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය මගින් 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ බව ද අධිකරණයට කරුණු වාර්තා කර ඇත.