‘ආණ්ඩුවේ පරිසර විනාශය ගැන සොයන්න විපක්ෂයෙන් කණ්ඩායමක්’


(නිමල කොඩිතුවක්කු)

මැතිවරණයට වියදම් කළ මුදල් සොයා ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයන් ජාවාරම්කරුවන් සමග එක්ව පරිසරය විනාශ කරමින් සිටින බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කොළඹ දී අද (30) පැවසීය.

පුත්තලම ආනවිලුන්දාව අභය භූමිය ඇතුළු අභය භූමි  සහ රක්ෂිත ඇතුළත් පරිසර පද්ධති මෙම පිරිසේ ගොදුරු බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව සමග ඒකරාශීව දැවැන්ත වැඩපිළිවෙළක් ගොඩනඟන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීවේය.

මේ මැතිවරණයේ දී පොහොට්ටුවට වැඩි බලයක්  ලබාදීලා ජනතාව බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා කිහිපයක් තියෙනවා. දැන් ඒ ජනතා අභිලාශයට පයින් ගහලා ආණ්ඩුවට ඕන විදිහට කටයුතු කරමින් යනවා.

දැන් මේ ලැබිච්ච බලය ඒකාධිපති පාලනයක් කරා ගෙන යාමට මේ අය කටයුතු කරමින් සිටිනවා. මේ ආණ්ඩුව අප්‍රේල් 30 සිට අගෝස්තු 31 දක්වා මුදල් වියදම් කරලා තියෙන්නේ නීති විරෝධී විදිහටයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳ අද ආණ්ඩුව මග අරිනවා.

නව ආණ්ඩුව අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ අපි මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කළත් ඒ අය මේකට පිළිතුරු දෙන්නැතුව මඟ හැරියා. මේ අයට ලැබුණු බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් රටට විශාල හානියක් සිදුවෙනවා. මේ විදියට රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රටේ නායකයෝ ක්‍රියාත්මක වුණොත් ඉදිරි කාලයේදී රට භයානක තත්වයකට මුහුණදීමට සිදුවෙනවා. ඒක රටට ඉතාම අහිතකර තත්වයක් බවට පත් වේවි.

මේ සැරේ රටේ බලය ගන්න පොහොට්ටුව ජනතාවට වැදගත් විදිහට බොරු බේගල් ඇද බෑවා. දැන් රටට  සල්ලි නැහැ. විදේශ විනිමයක් නැහැ. ආනයන සියල්ලක්ම නතර කරලා තියෙන්නේ. ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්න මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැහැ. ආනයනය නතර කිරීමත් සමඟ රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ වල විශාල හිඟයක් පවතිනවා. මේ නිසා කුඩා පරිමාණ ව්‍යාපාර සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා අද සියල්ල කඩා වැටිලා තියෙනවා. අද යතුරුපැදියක් ගන්න අවස්ථාවක් නැහැ. ටයර් එකක් දාගන්න විදිහක් නැහැ. මෝටර් රථ අමතර කොටස් නැහැ.

මේ ආණ්ඩුව යටතේ අද ආර්ථිකය අසමතුලිත වෙලා තියෙනවා. වෙළඳපොළේ බඩු හිඟ වෙන්න කොට ජනතාව අතර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේක මග ඇරෙන්න දැන් වෙනස් විදියකට ඇමැතිවරු පත් කරලා තියනවා. අලුතින් මේ රටේ නිෂ්පාදන ඇතිකරලා ඒ නිෂ්පාදන රටේ පරිභෝජනයට දෙනවා කියලා මේ හරහා රටේ ජනතාවට පණිවිඩයක් දුන්නා. අමාත්‍යාංශය මගින් ජනතාව ටික කාලයකට අන්දගෙන තියෙනවා. මේ ආණ්ඩුව දුරදිග නොබලා කටයුතු කිරීම නිසා මේ රට නුදුරු දිනනදීම කඩා වැටීමකට ලක් වෙනවා.