‘අසාද් සාලිගේ’ පත්සම සළකා බලන්න දිනයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ,  තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් මස 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (21) නියම කළේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවිණි.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙන්වා දුන්නේ මෙම නඩුවේ පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ ගෞරි තවරාසා මහත්මිය මේ වනවිට   මියගොස් ඇති බැවින් ඒ වෙනුවට වෙනත් නීතිඥවරයෙකු ආදේශ කර නොමැති බවය.

මේ හේතුවෙන් මෙම පෙත්සම ඊයේ  දින සලකා බැලීමට නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා මියගිය නීතිඥවරිය වෙනුවට පෙත්සම්කාර පාර්ශවය සඳහා වෙනත් නීතිඥවරයෙකු ආදේශ කර අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව එම කාර්යය ඉටු කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට කල් ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 4 වනදා සලකා බැලමට දින නියම කෙරිණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ  තම සේවාදායකයා ජනමාධ්‍ය ඔස්සේ සිදු කළ ප්‍රකාශයකින් ජාතීන් අතර පවතින සමගිය කඩාකප්පල් වූ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුනත් , මේ වන විට ඔහුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව එම දෙපාර්තමේන්තුව විසින්ම අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවය.

තම සේවාදායකයා එම  මාධ්‍ය හමුවේ දී සිදුකළ සම්පූර්ණ ප්‍රකාශයෙන් තෝරාගත් විකෘති කරන ලද කොටස් කිහිපයක් පමණක් ප්‍රචාරය කිරීම තුළින් ඔහුට දැඩි අගතියක් සිදු වී ඇති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පවා දැනටමත් නිගමනය කර ඇතැයිද ජනාධිපති නීතිඥ ගුණරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දී සිටියා.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයාගේ එම ප්‍රකාශයට විරෝධය පළ කර සිටී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ මෙම නඩුවේ පෙත්සම්කරුට එරෙහිව නීතිපතිවරයා විසින් දැනටමත් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බවය.

අනතුරුව පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 4 වැනිදාට කල් තැබිණි.

ඉකුත් මාර්තු මස 9 වනදා කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අසාද් සාලි මහතා  වාර්ගික සුහදත්වයට හානි කර ප්‍රකාශ සිදු කළේ  යැයි සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ අතර

එම රැදවුම් නියෝග අවසන් වීමෙන් පසුව ඔහු මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ,  ඒ අනුව තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා  මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා  , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.