(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් අහිමි වූ අධිකරණ විශ්වාසය යළි ගොඩනගා ගැනීම සඳහා අගවිනිසුරුතුමන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනම් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සඳහා අගවිනිසුරුවරයාට කාලයක් ලබාදීමට රාජ්‍ය නායකත්වය බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය හා විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූව සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවක් පත්කර පියවර ගත යුත්තේ පාර්ලිමේන්තුව වුවත් එයට ඉක්මන් වීමට රජය අකමැති බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
එසේ කළහොත් එය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් බවට පත්විය හැකි බව කී ඇමැතිවරයා අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයතමන්ට සිදුව ඇති දේශපාලන බලපෑම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී ලෙස හා රටේ ජනතාව තුළ විශ්වාසනීයභාවයක් ඇතිවන ලෙස පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාදවල හඬ පට හේතුවෙන් මේ වන විට බිඳ වැටී ඇති අධිකරණය පිළිබඳ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග මොනවාද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
නිරෝගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මිනිස් නිදහස හා ආරක්‍ෂාව උදෙසා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඉතා වැදගත් බව කී අමාත්‍යවරයා පසුගිය කාලයේ අධිකරණයට ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ තරමින් ව්‍යවස්ථාධායකයෙන් බලපෑම් එල්ල වී ඇති බව මෙම හඬපටවලින් තහවුරු වන බව ද කීවේය.
දේශපාලන පළිගැනීම් හා වෛරයෙන් යුතුව පසුගිය කාලයේ අධිකරණය මෙහෙයවා ඇති බවට මෙම සාක්‍ෂි මගින් ඔප්පු වූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එබැවින් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ඇතිනොවන ආකාරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහා අගවිනිසුරුතුමන් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

