‘ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවිමේ කමිටු වාර්තාව සමගි ජනබලවේගය ප්‍රතික්ෂේප කරයි‘


 

(නිමල කොඩිතුවක්කු)
 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(29) පැවසීය.
 
මැතිවරණ ව්‍යාපාරයේ අවසාන සතිය  වනවිට මෙවැනි කමිටු වාර්ථා එලිදැක්වීම මගින් රාජපක්ෂ වික්‍රමසිංහ කුමණ්ත්‍රණය කරලියට එළැඹ ඇති බවට පෙන්නුම් කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
 
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
මධ්‍යම සංස්කෘතික අරමුදල්ලේ මුදල් ආගමික සිද්ධස්තාන සංවර්ධනය කිරීම සඳහා වියදම්  කළ බවත් රාජ්‍ය  ඉංජිනේරු සංස්ථාව ඇතුලු රජයේ  ආයතන මෙම සංවර්ධණ කටයුතු සඳහා යොදාගත් බවත් ඔහු සඳහන් කළේය.
 
මෙම වාර්තාව සඳහා සජිත් ප්‍රේමදාස  හෝ  අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීමක් හෝ කර නොමැති බවත් මෙය මැතිවරණය ඉලක්ක කරගනිමින් සැකසූ ඒකපාර්ශවික වාර්තාවක් බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.