‘ ආණ්ඩුව සේවය කරන්නේ ගජ මිතුරන්ට පමණයි’


(නිමල කොඩිතුවක්කු)

ජනතාවට සේවය කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ තම ගජ මිතුරන්ට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

වත්මන් පාලනය යටතේ දත්ත මැකීමේ මගඩිය, ඇන්ටිජන් මගඩිය, ඖෂධ ජාවාරම ඇතුළු මගඩි රැසක් ජයටම සිදුවෙන බවත්  මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

"විපක්ෂයෙන් හුස්මක්"25වන අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට  රුපියල් තිස්ලක්ෂ අනූදහසක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට විපක්ෂ නායක කාර්යාලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ  සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන බවත් විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ආණ්ඩුවක් විසින් කළ යුතු ජනතාවාදී කටයුතු සිදුකරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු සදහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන  බවත්  සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ  මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව ,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද ඔහු වැඩිදුරටත්  පැවසීය.