(රෝෂන් තුෂාර)
සති 7 කට වැඩි ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ලවා විනාශ කරවාගත් බව කියන දෙමටගොඩ ප්‍රදේශයේ එක් දරු මවක් ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (17) නියෝග කළාය.
දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
සැකකාර කාන්තාවගේ සැමියා වන සිසිර සම්පත් නමැති අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල ගබ්සාව සිදු කළ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර කාන්තාව නොවැම්බර් මස 12 වැනි දින මෙම ගබ්සාව කරගෙන ඇති බවය.
සැකකාරීය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මහින්ද මහතා කරුණු දක්වමින් කියා සිටියේ වෛද්‍ය උපදෙස් මත රුපියල් 37500 මුදලකට මෙම සැත්කම කළ බවය.
දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් ගබ්සාව සිදු කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමයපියවර ගන්නා ලෙසද දෙමටගොඩ පොලිසියට නියෝග කළාය