හෝමාගම කටුවානේ ඇල වේල්ලක පුළුන් කන්දක්


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද  දෙල්ගහවත්ත ප්‍රදේශය හරහා   වෙල් යායක් මැදින් ගලා බසින ඇල වේල්ලක  දින පහක පමණ සිට  සුදුපැහැති විශාල ප්‍රමාණයේ හදුනා නොගත් පුලුන් රොදක්  වැනි යමක් හට ගැනීමෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් මතුව ඇතැයි ජනතාව චෝදනා කරති .

මෙය පසුගියදා ගිනි ගැනීමට ලක් වූ කටුවාන කර්මාන්ත ශාලාව පිහිටා ඇති කර්මාන්ත පුරයෙන් බැහැර කෙරෙන  රසායනික දියරයක් ජලය හා මුසු  වීමෙන් මෙසේ පුලුන් වලට සමාන රොදක් හටගෙන ඇති බව ගොවි ජනතාව පවසති.

ජය වේල්ල දිගේ පෙන සහිත ජලය ගලා බැස දෙල්ගහවත්ත වෙල්යායේ සොරොව්ව අසල පෙන හටගැනීම සිදුවී තිබේ.

බැලූ බැල්මට පුළුන් රොදකට සමාන වුවද එය කෙඳි සහිත ද්‍රව්‍යයක් බවත් ඒවා සුලගට ගසාගෙන ගොස් අවට පරිසරයට පුරා පැතිර යන අයුරු දක්නට ලැබිණ.

මෙය අසාමාන්‍ය සිදුවීමක් බවත් ඒවා සිරුරේ ගෑවුනු විට කැසීමට ලක් වන අතර මෙම සිදුවීම නැරඹීමට පැමිණි  පුද්ගලයකු නිවසට ගොස් ආහාර ගැනීමෙන් පසුව වමනය කර ඇති බවද පැවසේ.

මීට අමතරව මෙම ස්ථානයෙන් සුළඟට බැහැරවන අදාල ද්‍රව්‍යය ප්‍රදේශයේ පානීය ලිං ජලය හා මුසු වූ හොත්  ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍යය සෞඛ්‍ය ගැටලු රැසකට පත්වීමට ඉඩ ඇති බව ගොවි ජනතාව පෙන්වා දෙති.