හොරෙන් රට රැකියාවට ආවොත් සුරක්ෂා නිවාසවලට භාරගන් නෑ


(යොහාන් භාසුර)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 1 වැනිදා සිට තානාපති කාර්යාල සුරක්ෂා නිවාසවලට භාරනොගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කර්යංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවල කම්කරු සුබසාධන අංශ යටතේ සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇති බවත් එමගින් විදේශ රැකියාවල නියුතුව සිටියදී අවශ්‍ය විවිධ සේවාවන් ලබාගැනීම සඳහා තානාපති කාර්යාල වෙත පැමිණෙන කාන්තාවන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් හා නේවාසික පහසුකම් සළසන බවත් එම කාර්යංශය කියයි.

මෙම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් වෙනුවෙන් පමණක් වන නමුත් මේ දක්වාම කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශගතවු කාන්තාවන් වෙත ද සුරක්ෂා නිවාසවලින් අවශ්‍ය සියළු සුබසාධන පහසුකම් සැපයීමට කටයුතු කළ බව කී විදේශ සේවා නියුක්ති කාර්යාංශය කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතවන කාන්තාවන් සුරක්ෂා නිවාසයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර ගන්නා අතර එම ගැටුම් පාලනය කිරීමට පොලිසියේ සහාය ලබාගැනීමට සිදුවූ අවස්ථා ද පසුගිය දිනවල  ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය වූ බවත් කාර්යංශය සඳහන් කළේය.

විශේෂයෙන්ම නීත්‍යානුකූල මාර්ගයන්ගෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීමට උනන්දු කිරීමත්, විවිධ තැරැව්කරුවන් හා නීත්‍යානුකූල නොවන විදේශ රැකියා ආයතනවල මැදිහත්වීමෙන් විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම පාලන කිරීමටත් මෙම තීරණයට එළැඹී බව එම කාර්යංශය වැඩි දුරටත් පවසයි.