
(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් ජපානය හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළකි . සැමියා 40 හැවිරිදි වියේ පසුවන අතර බිරිඳ 34 හැවිරිදි වියේ පසුවන්නියකි .
ඔවුන් ඊයේ (17) රාත්‍රී 08.35 ට ජපානයේ නරීටා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් දෙදෙනා , සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනඩාවේ වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

