හොර වීසා වලින් රට යන්න හැදු දෙදෙනෙක් අත්අඩංගුවට



 
( ටී.කේ.ජී.කපිල )
             
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (11) ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
               
මෙසේ අන් සතු ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව  බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
එමෙන්ම ව්‍යාජ  ජර්මානු වීසා බලපත්‍රයක් සහිතව විදේශගත වීමට පැමිණි 29 හැවිරිදි තරුණිය යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි .
 
ඔවුන් දෙදෙනා අද (11) දින අලුයම 12.20 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 558 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.
 
               
කැනඩාව වෙත ගමන් කිරීමට තැත් කළ තැත්කළ පුද්ගලයා සතු ගුවන් ගමන් බලපත්‍රය වෙනත් අයකු සතු ගුවන් ගමන් බලපත්‍රයක් බව මෙම දේශසීමාව ආවේක්ෂණ ඒකකයේ  නිලධාරීන් සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන්ගෙන් සහ අදාළ ගුවන් මගියාගෙන් සිදුකළ වාචික ප්‍රශ්න  කිරීම් වල  දී තහවුරු කර ගෙන තිබිණි .
 
එමෙන්ම ජර්මනිය බලා පිටත්ව යෑමට පැමිණි කාන්තාව සතු වූ  වීසා බලපත්‍රය ද ව්‍යාජ තොරතුරු ඇතුළත් කර  කූට ලෙස සකස් කළ ව්‍යාජ  එකක් බව මෙම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇත.
 
මෙම ව්‍යාජ වීසා බලපත්‍රය තමාට  මොරටුව ප්‍රදේශයේ දී ලැබුණු බවත් , තමන් ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් එම තැරැව්කරුට ගෙවූ බවත් මෙම කාන්තාව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ  නිලධාරීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ .