හොඳට රඟපා කෝටි පහක් අරන් පැනලා


(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

වාහන අලෙවි සලක් පවත්වාගෙන යන මුවාවෙන් එහි අයිතිකරු බව පැවසෙන පුද්ගලයා වාහනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් කොල්ලකා පස්ස දොරින් පලා යෑමේ සිද්ධියක් පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ පුද්ගලයා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාමරයක් කුලියට ගෙන මෙම ව්‍යාජ වාහන අලෙවිසල පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාජ වාහන අලෙවිසලේ කළමනාකරුවන් බව පැවසෙන දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යන බව කුරුඳු වත්ත පොලිසිය පවසයි.

සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු වාහනයක් මිලදී ගැනීමට පැමිණ මුදල් ගෙවීම සිදු කෙරුණු අවස්ථාවේදීය.

මෙම කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විවෘත කර ඇත්තේ මීට දින දහයකට පෙර බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මුදල් කොල්ලකා බලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ විශේෂ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.