( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12හි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී නොසිටින බවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) නිල වශයෙන් දැනුම් දුන්නේය.
නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එරෙහිව ගොනු වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) ප්‍රථම වරට සළකා බැලූ අවස්ථාවේදීය.
මෙම බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ චෝදනා යටතේ විමර්ශන ආරම්භ කරන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි බොහෝමයක් පෙත්සම් වලින් ඉල්ලා තිබෙන ප්‍රධාන සහනය බවත්, එම සහනය දැනටමත් ඉටු වී ඇතැයි ද නීතිපතිවරයා සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කියා සිටියේය.
පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ මෙම පෙත්සම් සියල්ලේම වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවයි.
මෙම පෙත්සම්වලට අදාළ ඇතැම් වගඋත්තරකරුවන්ගේ විරෝධතා තමන් වෙත ලැබුණේ පෙරේදා (11) පෙරවරුවේ බවද නීතිපති ලිවේරා මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

