හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාවට වසරකට කෝටි 32


(ගයාන් සූරියආරච්චි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ වැය ශීර්ෂය වාර්ෂිකව රුපියල් කෝටි 110 ක් පමණ වන බවද පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මුල ස්ථානය කියයි.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ සාමාන්‍ය රාජකාරිය සඳහා නිලධාරීන් 24,000 කගේ ඌණතාවක් පවතින බවත් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රභූ ආරක්ෂක රාජකාරිය යොදවා සිටි 2000 ක පමණ නිලධාරීන් සංඛ්‍යාවක් සාමාන්‍ය රාජකාරී සඳහා මීට පෙර යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා සිටින බැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාවේ කිසිදු බිඳ වැටීමක් සිදුවී නොමැති බව නිරීක්ෂණය වන බවද පොලිස් මූලස්ථානය පවසයි.