
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසාන ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට අද (30) පෙරවරුවේ රැගෙන එනු ලැබිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, විරුද්ධ පාර්ශවයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුද, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙහිදී හිටපු කතානායකවරයාට අවසන් ගෞරව දැක්වූහ.
තවද හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුද තානාපති නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රමුඛ ලේකම් මඩුල්ල, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය , හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම පවුලේ ඥාතීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ පියගැටපෙළ අසලට පැමිණීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ , කතානායක මහින්ද යාපා අබේවර්ධන,නියෝජ්‍ය කතානායකඅජිත් රාජපක්ෂ මහතා,පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිස විසින් දේහය බාරගනු ලැබීය.
අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කරන ලදී.
ජනාධිපතිවරයා දදේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ශෝක ප්‍රකාශයක්ද සටහන් කරනු දැකගත හැකිවිය.
අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව කතානායකවරයා ඇතුළු පිරිස රතු පලස මතින් දේහය රැගෙන විත් අවමංගල්‍ය රථයෙහි යළිත් තැන්පත් කළහ.


