හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 24 දා සළකා බලයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ රිට් පෙත්සම මෙම මස 24 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.
 
පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වුයැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන, මාස දහයක කාලයක් රැඳවුම් නියෝග රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.
 
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම රිට් පෙත්සම කැඳවනු ලැබිණි.
 
එහිදී නීතිපති වරයාට වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙර එය අධ්‍යයනය කළ යුතු බවයි.
 
එබැවින් ඒ සඳහා කල් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීමට අවසර දීමට අධිකරණය තීරණය කලේය.
 
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති මෙහි නම් කරනු ලැබ සිටිති.
 
පෙත්සම්කරුගේ විමර්ශන දැනය අවසන් කර ඇති බැවින් ඔහු රදවා තබා ගැනීමේ අවශ්යමතාවයක් නොමැති බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඤින් පෙත්සම්කරු සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බව අධිකරණයටද දැනුම් දී ඇති බවද පෙත්සම්කරු කියා සිටී.
 
නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
 
නීතිපති වෙනුවෙන් නියෝජ්ය  සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙනී සිටියේය.