හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි


(යොහාන් භාසුර)

වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.  

ධාරාණිපාත වර්ෂාව නිසා රට පුරා බොහෝ මාර්ග සහ පාලම්වලට හානි වී ඇති බවත් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල මාර්ගවලට දැඩි හානි වී ඇති අතර ඌව සහ මධ්‍යම පළාත්වල මාර්ග රැසකට ද තරමක හානි වී ඇති බවත් ඒ මහතා කීය. 

රට පුරාම ස්ථාන රැසක ගස් කඩාවැටීමෙන් මාර්ග අවහිරවීම් ඉවත් කිරීමටත් සුලු නාය යාම් නිසා වූ හානිවලට පිළියම් යෙදීමටත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම එම ස්ථානවල ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන බව කී සූරියබණ්ඩාර මහතා කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපු මාර්ගයේ 375/5 පාළමේ කොටසක් ගිලා බැසීමකට ලක්වීමෙන් පාළමේ ඉවුරක් හෝදාගෙන යෑමට ලක්ව ඇති බව ද පැවසීය.  

එම මාර්ගයේ මංතීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය තාවකාලිකව සකස් කර අවසන් කළ බවත් එම ස්ථානයේ තාවකාලික පාලමක් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ මහතා කීය. 

මනම්පිටිය- අරලගංවිල  (ඊ - 502) මාර්ගයේ 19/1 පාළමට හානි වී තිබෙන අතර එහි ගමනාගමනය ද අත්හිටුවා ඇති බව කී ඒ මහතා එම පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් ඉදිකිරීමට අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් පරිදි එය ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.