හලාවත ප්‍රා. සභා ලේකම්වරියගේ මාරුවට අධිකරණයෙන් තහංචියක්


(පුෂ්පකුමාර ජයරත්න )

මැතිවරණයක් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණ නීති රීති උල්ලංඝනය වන ආකාරයට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නියෝගයක් මත මැතිවරණ රාජකාරි කටයුතු භාර නිලධාරිනියක වන හලාවත ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානී ජයසිංහ මහත්මියට ලබාදී තිබෙන ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා තහනම් නියෝගයක් කළේය.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් අසාධාරණ ලෙස තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රියානී ජයසිංහ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා  එම නියෝගය නිකුත් කළේය.

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, වයඹ පළාත් පාලන කොමසාරිස් එච්.එම්.සී.ජයලත්, වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා හලාවත ප්‍රාදේශීය සභාව මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව විජේපාල මහතා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.