
(ඔගස්ටින් ප්‍රනාන්දු)
දින තුනක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව පැවැති හලාවත කොළඹ මන්දගාමී බස් රථ සේවක වර්ජනය අද ( 29 ) දහවල් හලාවත නගරයේ දි පැවැති විරෝධතාවකින් සහ හලාවත පොලිසිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කිරීමට බස් රථ හිමියෝ කටයුතු කළහ.
දුර සේවා, සීඝ්‍රගාමි බස් රථ කොළඹ අතර නියමිත බස් රථ නැවතුම්පළ හැර සෑම ස්ථානයකම නවතා මගීන් ගැනීම නිසා තම ආදායම අඩු වන කියමින්, එසේ අතරමග නැවතුම්පළවලින් මගින් ගැනීම නතර කර දෙන ලෙසින් ඉල්ලා පසුගිය 27 වන දින සිට බස් රථ හිමිවරු සහ සේවකයෝ මෙම වර්ජනය ආරම්භ කළහ.
ඔවුහු අද හලාවත නගරයේ දි විරෝධතාවක නිරතව සිටියහ.පසුව එහි පැමිණි හලාවත පොලිසියේ රථවාහන ඒකකයේ නිලධාරීහු දුර සේවා බස් රථ හලාවත නගරයේ නතර කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වූහ. ඒ අනුව විරෝධතාව අවසන් කළ පිරිස බස් වර්ජනය ද අවසන් කරන බව පවසමින් විසිර ගියහ.



