හරීන් - ජානක මැති සබේදී ගුටි ඇනගනී


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ වෛද්‍ය මධ්‍යස්ථානය අසල දී අද (21 )දහවල් ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම ගුටිබැට හුවමාරුව වී ඇත්තේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසුවය.

දෙදෙනා අතර විනාඩි කිහිපයක් මෙම ගුටිබැට හුවමාරුව සිදු වී තිබෙන බවත් වෙනත් මන්ත්‍රීවරුන් පිරිසක් මැදිහත් වී පසුව දෙදෙනා ඉන් පිටතට කැඳවාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ .

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මැතිසබයේදී ඊට පෙර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඒ අවස්ථාවේදී ද හරින් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි මහත්වරුන් අතර උණුසුම් කතාබහක් ඇති විය.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ආ බව කියන බැනර් කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමේදී සොයාගෙන ඒවා නැවත රැගෙන යන්නයි පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරින් ඔහුට දැනුම් දී ඇත .එහෙත් ඔහු එම බැනර් සහෝදර මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට දී පාර්ලිමේන්තුව ඇතුලට නැවත රැගෙන යෑමට උත්සාහ දරා ඇතැයි කියති .

මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇතැයි පැවසෙන්නේ ඉන් පසුවය.

ගුටිබැට හුවමාරුව හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්  ඇති වී තිබිණ.සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක විධිවිධාන දැඩි කරන ලදැයි ලදැයි එහි නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ ඒ ගැන පසුව කතා කරන බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී  වසර දෙකක් පිරීම නිමිත්තෙන් සමගි ජනබලවේගයෙ මන්ත්‍රීවරුන් ඊයෙ මැති සබයට පැමිණියේ කළු පැහැති ඇඳුම් වලින් සැරසීගෙනය