හරිනි දිල්ලියේ දී බාලේ උගත් ඉස්කෝලේ බලන්න යයි


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  ධූරයට පත්වීමෙන් පසු පළමු  ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින් අද (16)නවදිල්ලි නුවරට ළඟා වූවාය.

එහිදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය ඇතුළු  නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු අගමැතිනිය පිළිගත්හ.

මෙම සංචාරය අතරතුර,  අග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා  පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව  සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී ඇය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය මෙහිදී තමා ඉගෙනුම ලැබූ  හින්දු විද්‍යාලය නැරඹීමට ද එක් වනු ඇත. 

එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට අපේක්ෂා කරයි.