
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ,වනජීවී දෙපාර්තමේන්තුව හා මහවැලි විශේෂ බල ප්‍රදේශය සතු ඉඩම් අක්කර සිය ගණනක් මේ වන විට විවිධ පුද්ගලයින් විසින් අනවසරයෙන් අත්පත් කරගනිමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව පවසති.
පවතින ආණ්ඩුවේ දේශපාලකයින්ගේ හිතවතුන් වශයෙන් පෙනී සිටිමින් බොහෝ අය මෙම කැලෑ ඉඩම් එළිපෙහෙලි කොට අත්පත් කරගනිමින් සිටින බව එහි පාරම්පරික වැසියෝ පවසති.
සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වල්සපුගල හා හාමුදුරුවැව යන ප්‍රදේශ වල වනඅලීන් බහුල ලෙස ගැවසෙන කැලෑ ඉඩම් අක්කර සිය ගණනක් මේ වන විට යන්ත්‍රසූත්‍ර යොදා එළිපෙහෙළි කොට තිබේ.
වන අලි කළමනාකාරණ බල ප්‍රදේශයට යෝජිත දිමුතුගම, පුස්ගල,වැවේගම අන්දරවැව දිමුතුගම, වැලිවැව යන ප්‍රදේශ වල කැලෑබිම් රැසක්ද විවිධ පුද්ගයින් විසින් මේ වන විට එළි පෙහෙළි කරමින් සිටී.
මෙම අනවසර ඉඩම් මංකොල්ලය නිසා වඩාත් පීඩාවට පත්ව ඇත්තේ සිය වාස භූමි බවට පත්කරගනිමින් සිටි වනඅලීන් මෙන්ම යාබද ගොවිබිම් වල සිටින පාරම්පරික ගොවි ජනතාව බව ප්‍රදේශයේ ජනතාව පවසති.ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ මෙම ඉඩම් මංකොල්ලය ඉහළ ගොස් ඇති බවත් සමහර ඉඩම් අත්පත් කරග ගන්නන් කොළඹින් පැමිණි අය බවද ප්‍රදේශයේ ජනතාව පවසති.ඔවුන් නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම ඉඩම් මං කොල්ල කන බද ජනතාව කියති.
පසු ගියදා පැවති හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී මේ පිළිබදව සාකච්ඡා වූ අතර එහිදී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පැවසුවේ අලි කළමනාකරණ රක්ෂිතය බල ප්‍රදේශය යෝජිත එකක් පමණක් බවත් ඒ ගැන සලකා කටයුතු කිරීමෙන් සංවර්ධන කටයුතු සදහා බාධා මතුවෙන බවයි.
එහිදී අදහස් දැක් වූ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩබ්. කරුණාරත්න මහතා පැවසුවේ යෝජිත අලි කළමනාකරණ ප්‍රදේශය නිශ්චිත වශයෙන්ම හදුනාගෙන ගැසට් කළ යුතු බවයි.’සභාපති තුමා මොන පදනමෙන් වැඩ කරනවාද කියා අපි දන්නේ නෑ.නමුත් මමත් මාගේ නිලධාරීනුත් මේ නිසා අපහසු තාවයට පත් වෙන’ බවද දිස්ත්‍රික් ලේකම් වරයා එහිදී පැවසීය.

