හඳපාන්විල විල්ලුවේ අලි හතක් එරී මැරිලා


(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක  මීට දින කිහිපයකට ඉහතදී මියගිය වන අලින්ගේ සිරුරු හතක්  සොයා ගත් බව වනජීවි නිලධාරීහු සහ පරිසරවේදීහු  සඳහන් කරති.  
අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනකු සහ අවුරුදු 30, 35 පමණ වයසේ පසුවන වන  අලින් දෙදෙනකුගේ සිරුරු ඒ අතර වන බව ඔවුහු සඳහන් කරති.
හඳපාන්විල විල්ලුවේ ඕඩේ  ඇළ ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත් එහි ස්ථාන කිහිපයකින් මෙම අලින්ගේ සිරුරු හමු  වි තිබෙන බවත් කියති.

අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බව ද වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට  ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඳපාංවිල විල්ලුව පිරී ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් ඇත. ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලි පැටවුන් සහ වන අලින් සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරීහු  පවසති,