හදිසි ප්‍රතිකාර ඒකකය හදන්න ගෙනා කෝටි 8 ක් බහිරවයා ගිලලා


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශීක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය සඳහා කොන්ක්‍රීට් කණු 4 ක් පමණක් ඉදිකිරිම සඳහා වැයකර ඇති රුපියල් කෝටි 8 ක් සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය ඉදිකිරිම සඳහා ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් 2017 අගෝස්තු 1 වැනිදා මුල්ගල තබා තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 342 ක් වියදම් වන බවට ඇස්තමේන්තු කර ඇත.

එහෙත් වසර දෙකක් ගතව ඇතත් මෙම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණයේ තවමත් දක්නට ලැබෙන්නේ කොන්ක්‍රීට් කණු 4 ක් පමණි.

මේ සඳහා පමණක් රුපියල් කෝටි 8  ක් වැයකර ඇති බව චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ හමුවක් පැවැත්විණි.

මෙහිදි මාධ්‍යවේදීන් දැනුවත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සභාපති ශෛල්‍ය වෛද්‍ය විශේඥ අමිල සිරිවර්ධන මහතා මෙසේ පැවසීය.

"හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය ඉදිකිරිම සඳහා තෝරා ගත්තේ ශික්ෂණ රෝහලේ වැදගත්ම භූමි භාගයක්. රෝහලට පිවිසෙන ප්‍රධාන දොරටුව, රෝගීන්, ඔවුන්ගේ ඥාතීන්, බාහිර රෝගීන් මෙම ස්ථානයේ දිනකට 8000 ක් රැදී ඉන්න ස්ථානයක්. මෙම ස්ථානය තමයි මේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය ඉදිකිරිම සඳහා තෝරා ගත්තේ.

දැනට වසර දෙකක් වෙනවා මුල්ගල තියලා. තව වෙනකන් හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය ඉදිකිරිම සඳහා අත්තිවාරමක් දමා නැහැ. ඉදිකර තිබෙන්නේ කොන්ක්‍රීට් කණු හතර පමණයි. ඒ සඳහා රුපියල් කෝටි 8 ක් වැය කරලා. මේවා මහජන මුදල්. මේ මුදල මොනවටද වියදම් කලේ කියන කාරණය මහජනයා දැන ගන්න ඕනේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මේ හදිසි ප්‍රතිකාර ඒකකය සම්පතක්. ඒ නිසා කඩිනමින් මෙම ගොඩනැගිලි සංකිර්ණය ඉදිකර දෙන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම අවභාවිතා කර ඇති මෙම රුපියල් කෝටි 8  ක් වංචා කළ හෝ අවභාවිතා කළ අයට විරුද්ධව වහාම කඩිනම් පියවරක් ගන්නා ලෙසත් තමන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින" බවද හෙතෙම පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මව් සංගමයේ උප සභපති ළමා රෝග  විශේඥ වෛද්‍ය සංජිව තෙන්නකෝන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය ශෂික විතාන, විශේඥ වෛද්‍ය අජන්ත රාජකරුණා, විශේෂඥ වෛද්‍ය අසේල හංගිලිපොල යන මහත්වරු ද අදහස් දැක්වූහ.