සෞදියේ දී සුසුම්නාව බිඳුණු තරුණයා ලංකාවට එන්න සහය ඉල්ලයි


(කාංචනකුමාර ආරියදාස )

සවුදි අරාබියාවේ සේවය සඳහා ගිය පස්යාල ප්‍රදේශයේ තරුණයෙකු  සේවය කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව  සුසුම්නාව බිදී නිසි ප්‍රතිකාරයක් නොමැතිව  සවුදි අරාබියාවේ වාහන ගරාජයක රඳවා සිටින බව එරට තරුණයෙකු වීඩියෝ  පටයක් එවමින්   හෙළිදරව් කර සිටි.
එල් .ඒ .ලසින්ත නමැති මෙම තරුණයාට   සිදුවී තිබෙන අසාධාරණය පිළිබඳව ඔහුගේ බිරිඳ එස් .බි , මල්ලිකා මහත්මියද සනාථ කරමින් කියා සිටින්නේ තම සැමියා ආර්ථික දුෂ්කරතාවයන් නිසා සවුදි අරාබියාවට ගිය බවය.

 නිවසක  සේවය කරන ස්ථානයේ  වතුර ටැංකියක්  සකස් කිරීමට ගිය අවස්ථාවේ සැමියා ඇද වැටී මාස කිහිපයක් රෝහල්ගතව සිටි බවය.

පසුව සේවය කරන නිවසේ පිරිස  ලසින්ත  නැමති තම ස්වාමිපුරුෂයා රෝහලින් රැගෙන විත්  වාහන  ගරාජයක වෙනත් කෙනෙක් ලබා දුන් ඇදක් මත දමා තිබෙන බවය .

  මේ වන විට ඔහුගේ සිරුරේ පිටුපස විශාල තුවාල සෑදීම තිබෙන බවත්   සැමියා ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය   වටපිටාව සකසා දෙන ලෙස ඇය රජයෙන් ඉල්ලීමක් ද කරන්නීය .

සවුදි අරාබියාවේ සේවය කරන තරුණයෙකු හට මෙම   ලසින්ත  පිළිබඳව තොරතුරක් ලැබී ඔහු මෙම ස්ථානයට ගොස් තරුණයාට සිදුවී තිබෙන මුහුණ දෙන අති දුෂ්කර කාරණාව පිළිබඳව වීඩියෝ පටියක් අප වෙත එවා තිබේ
එහිදී දැඩි ලෙස  අසාධ්‍ය තත්වයේ  පසුවන එල්. ඒ .ලසින්ත පහළ කොටස් අප්‍රාණිකව සිටින අයුරු දැක ගැනීමට හැකිය.

සාත්තු සේවයට හෝ හදිසි උපකාරයකට කිසිදු අයෙකු මෙම ස්ථානයේ නොමැති බවද තරුණයා පෙන්වා දෙයි.

 මේ පිළිබඳව සේවා නියුක්ති කාර්යාංශයට මෙම තරුණයා විදේශගත කළ පෞද්ගලික රැකියා ආයතනයට දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නැති බව ඔහුගේ බිරිඳ කියයි.