සුභ හෝරාවෙන් හිස තෙල් ගා...


(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

සිංහල දමිළ අළුත් අවුරුද්දට වෙනුවෙන් පැරැණි චාරිත්‍රාණුකූල හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාලිගාශ්‍රයේ ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද පෙරවරු 9.04 ට යෙදුන සුබ සිදු කෙරිණි.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු - අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයේ  මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පැවති එම අවස්ථාවට විශාල පිරිසක් හිසතෙල් ගැල්වීමට එක්ව සිටියහ.

මල්වතු පහසුවේ අනුනායක  දිඹුල්කුමරේ විමලධම්ම නාහිමියෝ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ හිසට සුභ මොහොතින් තෙල්ගැල්වුහ.

මෙහිදී විශේෂත්වයක් ලෙස දක්නට ලැබුණේ දළදා මාළිගාවේ අලි ඇතුන්ටද සුබ මොහොතින් හිස තෙල් ගෑමේ චාරිත්‍රයද ඉටුකිරීමයි. මහා සංඝරත්නයේ ආශීර්වාද පිරිත් දේශණා මැද මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ඒ බී.එස්.අභයකෝන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අභයගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මීට සමගාමීව දිවයිනේ සෑම විහාරස්ථායක්ම මුල් කරගනිමින් හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්විණි

මහනුවර නාථ දේවාලයේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට සහභාගී වු පිරිස

උතුරු මැද පළාත් ආණ්ඩුගාර වසන්ත ජනදාස මහතා උතුරු මැද පළාත් හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට එක්ව සිටි  අයුරු (දයාරත්න ඇඹෝගම)

පුත්තලම දිස්ත්‍රික් හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පුත්තලම දිසා ලේකම් එච්.එම්.එස්.පී.හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ඓතිහාසික පරමාකන්ද රජ මහා විහාරස්ථානයේ දී සිදු කෙරිණි. (පද්මා කුමාරි කංකානම්ගේ)