චීනයේ සෙන්ෂෙන් නගරය සුනඛයින්ගේ හා බළලුන්ගේ මස් විකිණීම සහ පරිභෝජනය තහනම් කර තිබේ
බලධාරීන් පවසන්නේ එය එවැනි ක්‍රියාමාර්ගයක් ගත් පළමු චීන නගරය බවයි.
කොරෝනා වයිරස වසංගතය හා වන සතුන්ගේ මාංශ ආහාරයට ගැනීම අතර සම්බන්දයක් පවතින බවට කථාබහට ලක්වීමෙන් හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී චීනයේ වන සතුන් වෙළඳාම සහ පරිභෝජනය තහනම් කෙරිණ.
සෙන්ෂෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් බල්ලන් සහ බළලුන් සම්බන්දව ද තහනම දීර්ඝ කළේය.
නව නීතිය මැයි මස 1වන දින සිට බලපැවැත්වෙනු ඇත.
හියුමන් සොසයිටි ආයතනය පවසන්නේ ආසියාව පුරා වසරකට සුනඛයින් මිලියන 30ක් පමණ මරා දමන බවයි.
"සෑම වසරකම චීනයේ සුනඛයින් මිලියන 10ක් සහ බළලුන් මිලියන 4ක් මරා දමන මෙම කුරිරු වෙළඳාම අවසන් කිරීමට ගත් උත්සාහය සැබවින්ම ප්‍රශංසනීයයි."
යනුවෙන් හියුමන් සොසයිටි ආයතනයේ ප්‍රතිපත්ති විශේෂඥ ආචාර්ය පීටර් ලී පැවසීය.
කෙසේවෙතත් මේ අතර තුර කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වළසුන්ගේ පිත යොදා ගැනීම චීන රජය අනුමත කර තිබේ.
ජීවී වළසුන්ගෙන් ලබාගන්නා පිත් ශ්‍රාවය චීන සාම්ප්‍රදායික වෙදකම සඳහා දීර්ඝ කාලයක සිට භාවිතා කර තිබේ.
නමුත් එය කොරෝනා වයිරසයට එරෙහිව යොදා ගතහැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර එම ක්‍රියාවලිය සතුන්ට වේදනාකාරී හා කරදරකාරී වන බව සත්ත්ව අවිහිංසා සංවිදාන පවසයි.
ඇනිමල් ඒෂියා ෆවුන්ඩේෂන් හි ප්‍රකාශක බ්‍රයන් ඩේලි පවසන්නේ වන සතුන්ගෙන් ආරම්භ වූ මාරාන්තික වයිරසයකට එරෙහිව සටන් කිරීම සඳහා වළස් පිත වැනි වනජීවීන්ගෙන් ලබා ගන්නා දේ මත විශ්වාසය නොතැබිය යුතු බවයි.
කෙසේවුවද වයිරසයේ ප්‍රභවය කුමක්ද යන්න හෝ එය මිනිසුන්ට ව්‍යාප්ත වූයේ කෙසේද යන්න සොයාගැනීමට පර්යේෂකයන් තවමත් සමත් වී නැත.
(බීබීසී ඇසුරිණි - 085)

