(යොහාන් භාසුර)
සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් නීතිවිරෝධීව විකිණීමේ වංචාව හෙළිවූයේ සතොස සේවිකාවක් තමන්ට යොමු කළ දුරකථන කෙටි පණිවුඩයකින් (එස්.එම්.එස්.) බව සතොස සභාපති රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
සේවිකාවගෙන් ලැබුණු කෙටි පණිවුඩය සතොස සභාපති රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා මෙසේ විස්තර කළේය.
“සර්, නම් එකයි, දෙකයි, තුනයි හතරක් දාලා.... (නම් තිබෙන නිසා මේක පෙන්වන්න බෑ) සර් එයාලා හොඳ අය නෙවෙයි. එයාලා සුදුලූනු කන්ටේනර් දෙකක් පනන්ලා කියලා ලොකුවට ආරංචියක් යනවා. කරුණාකරලා මේ ගැන සොයන්න”
එම එස්.එම්.එස්. පණිවුඩය ලැබුණු වහාම සතොස විමර්ෂණ අංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර් සනත් මහතා වෙත එය යොමු කර සොයා බලන ලෙස දැනුම් දුන් බව කී රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ඉන් පසුව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙම සිද්ධිය දැනුම් දී රහස් පොලිසියට පැමිණිළි කරන ලෙස උපදෙස් දුන් බව ද කීය.

