සුද්දගෙ කාලේ ගෙන ගිය කෞතුක බඩු නැවත ගේන්න ගිවිසුම් දෙකක්


(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)

වර්ෂ 1765 දී ලන්දේසීන්  මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ පෙරදිග ඉන්දීය වෙළෙඳ  සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ හයක් නැවත ගෙන  ඒම සම්බන්ධව ගිවිසුම් දෙකක්   බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය විදුර වික්‍රමනායක ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි  නෙදර්ලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් Gunay Uslu මහත්ම මහත්මීහූ එක්වුහ.

මේ වනවිට නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හයක් මෙම ගිවිසුම මඟින් නැවත මෙරටට බාරදීමට නියමිතය.

මෙම කෞතුක භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නෙදර්ලන්තයේ අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත යොමුකළ අතර එම ඉල්ලීම සලකා බැලු නෙදර්ලන්ත රජය මේ සඳහා ස්වාධීන උපදේශක කමිටුවක් පත්කොට,කමිටුවේ නිර්දේශයන්ට අනුව කෞතුක භාණ්ඩ ආපසු ලබාදීමට තීරණය කර තිබේ.