(චමිල් රූපසිංහ)
ලෝක සාවාරියක යෙදෙන MSC Magnifica නෞකාව හෙට (6 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තමන්ව නැවතත් ශ්‍රී ලංකාවට බාරගන්නා ලෙස එම නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා ආයාචනා කර සිටී.
තමන් සේවය කරන නෞකාව 6 වැනිදා කොළඹ ආසන්න මුහුදු සීමාවට පැමිණෙන බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට බාර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණිකව ආයාචනය කරන බව ඔහු පවසයි.
මෙම නෞකාවේ මගින් සංඛ්‍යාව 2700 ක් පමණ සිටින බවත් එහි සිටින එකම ශ්‍රී ලාංකිකයා තමා බවත් ලෝක සවාරියක් සඳහා මෙම නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් ලෝකයේ හට ගෙන ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමිමට සිදුවු බව ඔහු සඳහන් කරයි.
ලෝකයේ කිසිදු රටක වාරයකින් මෙම නෞකාව බාර නොගැනීම නිසා මෙම නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් විම සදහා ගමන් ආරම්භ කර සිටී. මේ වන විට දින 25 ක් ක කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටිති. මෙම නෞකාවේ කිසිදු කොරෝනා වයිරස් තත්වයක් හටගෙන නොමැති බවත් ඔහු සඳහන් කරයි.
මෙම නෞකාවට ඉන්ධන සපයා ගැනීම සඳහා අප්‍රියල් මස 6 වැනිදා (හෙට) අලුයම 6.00 ට පමණ ශ්‍රි ලංකාවට ආසන්න මුහුදේ පැය 3 ක පමණ කාලයක් පැමිණ රැඳී සිටින බවත් එහිදි ශ්‍රී ලංකාවට තමාව බාර ගන්නා ලෙසත් අනුර බණ්ඩාර හේරත් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
මෙම අවස්ථාව මඟහැරී ගියහොත් නැවත යුරෝපයට ගියායින් පසුව මෙරටට පැමිණිම ඉතාමත් අපහසු වන බැවින් තමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක දෙකක් හෝ නිරෝධායනයට යොමු විමට කැමැත්ත ප්‍රකාශ කර සිටින බවත් ඔහුගේ ආයාචනාවේ සඳහන් වේ.



