
(නිමන්ති රණසිංහ)
කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ රඳවා සිටී අලින් 14 දෙනෙකු මාස තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත ඔවුන්ගේ අයිතිකරුවන්ට තාවකාලිකව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.
ඒ අනුව, මෙම අලින් 14 දෙනාගේ පැරණි හිමිකරුවන්ට ම භාරකාරත්වය ලබාදීමට ලියාපදිංචි කරන ලෙසට දන්වමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් විය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව සහ 2241 / 21 අගෝස්තු මස 19 වැනි දා දරණ ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම සතුන් ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ හිමිකරුවන් වෙත මුදා හරින ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
(ඡායාරූප: රෝහණ සමරවීර)







