සිරිපා අඩවිය පූජා භූමියක් වෙයි


(අජිත්ලාල් ශාන්තඋදය)

ශ‍්‍රීපාද අවට ප‍්‍රදේශය පූජාභූමියක් සහ සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර ජාතික පෙරහර උත්සවයක් ලෙස නම් කළ සන්නස් පත‍්‍ර හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමිට සහ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතාට පිරිනමනු ලැබීය.

හිටපු ජනාධිපතිවරයා සිය ධූර කාලයේ අවසන් රාජකාරීවලින් එකක් ලෙස ශ‍්‍රීපාද භූමිය පූජාභූමියක් ලෙස ගැසට් පත්‍රයක් මගින් නම් කළේය. ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමිගේ ඉල්ලීමක් අනුව සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා කළ දැනුම් දීමකට අනුව මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රීපාද භූමිය පූජාභූමියක් ලෙස නම් කරනු ලැබීය.

සබරගමු මහ සමන් දේවාලේ ඇසළ පෙරහරේ මෙවර පැවැත්වුණේ පසුගිය සැප්තැම්බර් 9 දා සිට13දා දක්වාය.  මහපෙරහර අතර සමන් දේවාලයට පැමිණි හිටපු ජනධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම පෙරහර ජාතික උත්සවයක් ලෙස නම් කරන බව දැනුම් දුන්නේය.

ඒ අනුව පැල්මඩුල්ල පුරාණ රාමහා විහාරස්ථානයට ගොස් ශ‍්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් බැහැ දැක ශ‍්‍රීපාද පූජාභූමියක් කළ සන්නස් පත‍්‍රය පිරිනැමීය. ඉන්පසු රත්නපුර මහ සමන් දේවාලයට පැමිණ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා හමුවී සමන් දේවාල පෙරහර ජාතික පෙරහර උත්සවයක් ලෙස නම්කළ සන්නස් පත‍්‍රය පිරිනැමීය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඇතුළු දේශපාලනඥයින්ද, රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකපෝතාගම මහත්මිය පුමුඛ රාජ්‍ය නිලධාරින් ද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.