සිරි රණසිංහ රූපාවලෝකනයෙන්


(ආරියරත්න රණබාහු)

පුවත්පතක් ජනතාවට සමීපවීමට එහි නායකත්වය අතිශය වැදගත් බැවින් එම කාර්යභාරය තිස්තුන් වසරක් අඛණ්ඩව ඉටුකළ සිරි රණසිංහ කතුවරයා ලංකාදීපය ............ චක්‍රරත්නයක් ලෙස හැඳින්විය හැකි යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී  පැවැසූහ.

බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අගලකඩ සිරිසුමන හිමියන් ඒ බව සඳහන් කළේ විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වන ලංකාදීප පුවත්පතේ සමාරම්භක කතුවරයා වූ වත්මන් උපදේශක කර්තෘ සිරි රණසිංහ මහතා වෙනුවෙන් පැවැති උත්සවයේදීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු වන සිරි රණසිංහ මහතා වෙනුවෙන් එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංගමය විසින් මෙම උළෙල සංවිධානය කර තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඇගැයීමේ උළෙල පැවැත්විණි.

සිරි රණසිංහ රූපාවලෝකනය නමින් හැඳින්වූ මෙම උළෙලේදී රණසිංහ මහතා පිළිබඳව නිලාන්ද සිල්වා නිෂ්පාදනය කළ මාධ්‍යවේදී ක්‍රිෂාන්ත දයානන්ද මහතා නිර්මාණය කළ කෙටි වාර්තා චිත්‍රපටය අන්තර් ජාලය වෙත මුදාහැරීමද මෙහිදී සිදුවිය.

Https//www.youtube.com@Siri Ranasingha-Tribute ඔස්සේ මෙම කෙටි වාර්තා චිත්‍රපටිය නැරැඹිය හැකිය.

එහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ මහාචාර්ය හිමියෝ මෙසේද පැවැසූහ.

පුවත්පතක තිස්තුන් වසක අඛණ්ඩ මෙහෙවරක උපහාරය අද සිරි රණසිංහ මහතාට මෙහිදී පිරිනැමෙනවා. මෙය අතිශයින්ම වැදගත්. එදා පදනම් ආයතනයේ පැවැති උත්සවයේදී සිරි රණසිංහ සූරීන් මෙරට ජනතාවගේ මොනතරමට හද බැඳගත් මාධ්‍යවේදියකුද යන්න සනාථ වුණා. එදා පැමිණ සිටි ජනතාව නිසා බොහෝ දෙනකුට පදනම් ආයතනයේ ශාලාවට පවා ඇතුළු වීමට නොහැකි වුණා.

මේ රටේ අතීතයේ සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ මොන තරම් ප්‍රබලයන් සිටියද විශ්වවිද්‍යාලයක සනාතන සභා මන්දිරයකදී උපහාරයට ලක්වීමට රණසිංහ සූරීන්ගේ උත්තුංග මෙහෙවර මොනතරම් වෙන්න ඇද්ද. මේ සමාජය වෙනුවෙන් කළ මෙහෙවරේ සත්‍ය කතාවයි.

මා කුඩා කාලයේ කියවූ ප්‍රියමනාප පුවත්පත දවස පුවත්පතයි. එය අපට අහිමිවී ගියා. එකල තිබුණු පැරැණි ලංකාදීප පුවත්පතත් අපට මතකයි. අවසානයේ එයත් අපට අහිමි වී ගියා.

දිනපතා ලංකාදීපය අප අතට පත්වන විට අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. එය අපට අලුත් අත්දැකීමක් වුණා. එදා සිට අද දක්වාම අත් නොහළ එකම පුවත්පත වූයේ එයයි. ඒ සඳහා විශේෂ වූ හේතු ගණනාවක් තිබෙනවා.

මෙය අනික් පුවත්පත් සියල්ලටම වඩා අපේ නෙතට ආකර්ෂණීයයි. සිරස්තල සියල්ලත් ආකර්ෂණීය වගේම කුතුහල ජනකයි. එහි වැඩිදුර විස්තර කියවීමට ඇතුළු පිටුවලට අප වහාම කැඳවනවා. සෑම දිනකම පුවත්පතේ ප්‍රධාන පිටුවේ මැද පළවෙන ඡායාරූපය ලොකු කතාවක් කියනවා.

විශේෂයෙන්ම සාහිත්‍යකරුවන් හැටියට සාහිත්‍ය ආචාර්යවරුන් හැටියට අප වීමංසා අතිරේකයට බොහෝ ප්‍රිය කරනවා. එය අපගේ තක්සලාව වුණා. සෑම දිනකම එහි සෑම ලිපියකම අකුරක් නෑර කියෙව්වා. ඊට අපිත් ලිව්වා. සංවාද කළා.

කිසි විටෙක අන්තවාදී පක්ෂග්‍රාහී අදහස් මේ පුවත්පතේ අප දුටුවේ නැහැ. මේ කාලය තුළ දේශපාලන යුග ගණනාවක් පසුකර තිබෙනවා. එහෙත් මේ පුවත්පත වෙනස් නොවී එකම ස්වරූපයෙන් තවම ගමන් කරනවා.

නිවැරැදි වහර සැම විටකම භාවිතයේ තිබුණා. යල් පැනගිය අදහස් නොදුටු අතිශයෝක්ති ප්‍රවෘත්ති යෙදුම්වලින් තොරව සත්‍ය අපේ සිත් ගත්තා. ඕපාදූපවලට ලංකාදීපය කිසි දවසක ඉඩක් දුන්නේ නැහැ. එමෙන්ම මිථ්‍යා අදහස් වපුරන පුවත් අපට හමුවුණේ නැහැ.

එමෙන්ම ප්‍රචාරණවලින් අනෙකුත් පුවත්පත් අභිබවා ඉදිරියට යන්න ඕන කියන එක මේ පුවත්පතෙන් කිසි දවසක මා දුටුවේ නැහැ.

වසර 17ක් තිස්සේ මේ පුවත්පත ලංකාවේ ජනප්‍රියම පුවත්පත ලෙස වැජඹෙනවා. එසේ සම්මානිතවීමට මෙහි ඇති පෞරුෂය ජනප්‍රියවීමට හේතුව සිරි රණසිංහ නමැති මේ මහා පත්‍රකලාවේදියාමයි.

එතුමා පදනම් ආයතනයේ කළ කතාවේදී සඳහන් කළ දෙය තමයි මෙය මා තනිවම කළ දෙයක් නොවනවා කියන කාරණය. ඔහු සමඟ විශාල කණ්ඩායමක් සිටි බව කිව්වා. ඔහුගේ නිහතමානිත්වය එයයි.

එහෙත් අප විශ්වාස කරන්නේ නායකත්වයමයි. සාර්ථකත්වය නියමුවාගේ දර්ශනයම පුවත්පතේද දර්ශනය වෙනවා.

දේශපාලකයෙකුටවත් කිරීමට නොහැකි වැඩ රැසක් එතුමා ගමට කරල තියෙනවා. සමහරුන් ගමෙන් නගරයට ආවම ගම අමතක වෙනවා. ඒත් මෙතුමා ගම අමතක නොකිරීම විශේෂ ගුණයක්.

මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා කියූ දෙයක් මට සිහිපත් වෙනවා. සක්විති රජ කෙනකුට පහළවන චක්‍රරත්නය කියා දෙයක් තිබෙනවා. එය අහසේ නොවෙනස්ව පවතින විට රජු හොඳින් රට පාලනය කරන බව ජනතාව දැන ගන්නවා.

රජු වරදක් කළ විට චක්‍රරත්නය වෙනස් වෙනවා. රජ දූෂිත වූ විට චක්‍රරත්නය අතුරුදන් වෙනවා. ඒ නිදර්ශනය අනුව රත්නපාල මහදුරුතුමා කියනවා රටක ජාතික පුවත්පතක් මේ චක්‍රරත්නය වගේ වෙන්න ඕනෑ කියලා. ජාතියක ඇතිවන වෙනස්කම් ඒ පුවත්පත තුළින් ජනතාවට ග්‍රහණය විය යුතුයි. ඒ සඳහා මාධ්‍යවේදියා විශ්වසනීය පෞද්ගලිකත්වය ඉස්මතු නොකරන ලාබ ප්‍රයෝජන නොතකන විරුද්ධ මත ඉවන ආවේගශීලී නොවන සමාජයට වැදගත් දේ බෙදාහදා දෙන කෙනෙක් විය යුතුයි.

ඒ අනුව සිරි රණසිංහ මහතා මේ චක්‍රරත්නය වාගේ යැයි මා විශ්වාස කරනවා. මේ සුන්දර මාධ්‍යවේදියා පුවත්පත් කලාවේ චක්‍රරත්නයයි. යම් කෙනෙක් මාධ්‍යවේදය ගවේෂණය කරනවා නම් සිරි රණසිංහ ගවේෂණය කරන්න. පත්තරයක් ප්‍රසන්නව ඉදිරිපත් කරන්නේ කොහොමද කියල දැන ගන්න නම් මෙතුමාගෙන් එය අහගන්න. සිරස්තලයක් යොදන හැටි කතුවැකියක් ලියන හැටි එතුමාගෙන් දැන ගන්න. සමූහයක් සමඟ වැඩ කරන හැටි අභියෝගයක් ඉවසන හැටි කළමනාකාරිත්වය සමඟ මෙන්ම පාඨකයින් සමග ගනුදෙනු කරන අයුරුත් එතුමාගෙන් දැන ගන්න.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ කීය.

අප දන්නා ඉතිහාසයේ මෙම සරසවියේදී මාධ්‍යවේදියකුට මෙවැනි උපහාරයක් මීට පෙර දක්වා නැහැ. මෙම විශ්වවිද්‍යාලයේ ආරම්භක කර්තෘන් වහන්සේ වන හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන් තවත් කාලයක් ජීවත් වුණා නම් මේ රට වෙනස්වීමට තිබුණා.

වැලිවිටියේ සෝරත ස්වාමින් වහන්සේගේ පිළිරුව ඉදි කිරීමෙන් පසු මෙම විශ්වවිද්‍යාලයේ නව පුනරුදයක් ඇතිවුණා. මේ විශ්වවිද්‍යාලයට ආදරය කරන පිරිසක් අප ඇති කළා. ඒ පුනරුදයේ පතාක යෝධයෙක් තමයි සිරි රණසිංහ මහතා. නූතනය වගේම පැරැණි දේත් අවශ්‍ය බව අපි ළමයින්ට ඉගැන්නුවා.

අපේ රට ගොඩගන්න එකම තැන වන්නේ අධ්‍යාපනයයි. මේ බව පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති රැස්වීමකදී අප තහවුරු කළා.

මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ගාමිණි සිල්වා, උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ යන මහත්වරුද අදහස් දැක්වූ අතර සිරි රණසිංහ මහතා ස්තුති කතාව කළේය.

විදුදය මිතුරන් විසින් රණසිංහ මහතා වෙත මෙහිදී සමරු තිළිණ ද පිළිගන්වනු ලැබිණි.

ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී කමල් කාරියවසම් මහතා කථනයෙන් දායකවිය.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයන්ගේ සංගමය සංවිධානය කළ ‘සිරි රණසිංහ රූපාවලෝකනය’ උපහාර උත්සවය එම විශ්වවිද්‍යාලයේ සනාතන සභා මණ්ඩපයේදී පෙරේදා (9) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී එම සංගමය වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ යන මහත්වරුන් අතින් සිරි රණසිංහ මහතාට සමරු තිළිණය පිළිගැන්වුණ අවස්ථාව.

විද්‍යාර්ථයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර එම සංගමයේ සභාපති ගාමිණි සිල්වා, ලේකම් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ හිටපු ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරුද මෙහි වෙති.

මෙම අවස්ථාවට සහභාගිවූ පිරිසෙන් කොටසක්

 

ඡායාරූප- ළහිරු හර්ෂණ