සිරකරුවන්ටත් ’’සූම්’’ පහසුකම්


(සුජිත් හේවාජුලිගේ )

වැලිකඩ, බූස්ස, අගුණුකොළපැලැස්ස ඇතුළු බන්ධනාගාර හයක සිරකරුවන්ට  "සූම්" තාක්ෂණය ඔස්සේ සිය ඥාතීන්  සමග කතා  කිරීමේ නව වැඩපිළිවෙළක්  හඳුන්වාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම  වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය  ආධාර ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

සිරකරුවන් අතරේ කොවිඩ් පැතිරීම  වැළැක්වීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ හඳුන්වා දුන් බව පැවසූ රත්වත්තේ මහතා   වැඩපිළිවෙල  ඉදිරියේදී සෙසු බන්ධනාගාර වලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වන ලොහාන් රත්වත්තේ මහතා මෙසේද කීය.

"රැඳවියන්ට සූම්  තාක්ෂණය ඔස්සේ සිය ඥාතීන් හා හිතවතුන් ඇමතීමට අවස්ථාව සලසා දී තිබෙනවා .අපේ  වෙබ්අඩවියට ගිහින් සිරකරුවාගේ නමයි අංකයයි ඇතුළත් කළ පසුව  අපි නොම්බරයක් සහ වේලාවක් ලබා දෙනවා .ඒ වෙලාවට ආවම එම සිරකරු සමඟ කතා කිරීමට අදාළ ඥාතියාට අවස්ථාව ලැබෙනවා."