සියලු හඬපට අන්තර්ජාලයට මුදාහරින්නැයි රංජන්ගෙන් ඉල්ලයි


(දසුන් රාජපක්ෂ)

තමාට වාසිදායක දුරකතන හඬපට පමණක් නොව, සියලු හඬ පට අන්තර්ජාලයට මුදාහරින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව මහජන අවධි සභාවේ කැඳවුම්කරු, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද  (9) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල  පිහිටි  ජාතික හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
එම දුරකතන සංවාද විවිධ පාර්ශවවලට  වාසිදායක ලෙස යොදා ගැනීම නතර කළ හැක්කේ  ඒ සියල්ල  ජනතාවට ඇසීමට සැලැස්සවීමෙන් පමණක් බව වර්ණසිංහ මහතා කියාසිටියේය.
 
රංජන් රාමනායක මහතා එසේ නොකළහොත් වසර ගණනක් මහන්සි වී ඔහු රැස් කර ගත්  හඬපටවල වටිනාකම නැති වී යන බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
 
රංජන් රාමනායක මහතාගේ පෞද්ගලික දේපලක් වන, 121,000කට අධික ප්‍රමාණයක හඬ පට වෙනත් පාර්ශ්වවලට ලැබුණේ කෙසේදැයි නිවැරදිව දන්නේ  ඔහු පමණක් වන බැවින් වෙනත් පාර්ශව විසින් ඒවා අවභාවිත කිරීම නතර කළ හැක්කේ ද  ඔහුට පමණක් බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කර සිටියේය.
 
සමාජය පරිහානියට පත්වන කරුණු ඇතුළත් හඬපටද මේ වනවිට සමාජජාලවල සංසරණය වුවත් ඒවා ප්‍රචාරය වීම තහනම් කරන ලෙස සංඝයාවහන්සේලා මේ වන තෙක් ඉල්ලා නොසිටීම පුදුමයට කරුණක් බවද ඒ මහතා කියා සිටියේය.